Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

මානව හිමිකම් නොරැක්කොත් ඇඟලුම් කර්මාන්තයට කෝටි ගාණක පාඩුවක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති පරිදි මර්දන අණපනත් අහෝසි කොට යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් රටේ දෙවැනියට විදේශ විනිමය උපදවන ක්ෂේත්‍රය අනතුරේ වැටීමේ අවදානමක් මතුවී තිබේ.

දිවයිනේ ප්‍රධාන අපනයන කරුවන් පෙන්වා දෙන්නේ යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අපේක්ෂිත අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ක් හෙවත් රුපියල් කෝටි 11,232 පමණ වනු ඇති බවයි.

ඔවුන් පවසන්නේ දැනට බ්‍රිතාන්‍යයෙන් පිටත, යුරෝපා සංගමයට පමණක් අපනයන සිදු කරන 90% ක් GSP+ සහනය භුක්ති විඳින බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගියදා  මතුකර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනකරුවන් පෙන්නා දෙන්නේ සිවිල් යුද්ධයේ දී හා එහි අවසානයෙන් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝන හේතුවෙන් 2010 දී ජීඑස්පී+ අත්හිටුවනු ලැබීමෙන් අහිමි වූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් ලෙස වාර්තා වූ බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) පවසන්නේ, ජීඑස්පී+ නැතිවීමේ බලපෑම ඉහත දැක්වෙන අහිමිවන අපනයන වටිනාකමින් පිළිබිඹු වන අතර, එසේම බංග්ලාදේශය ඇතුළු අඩු පිරිවැය රටවල් සමග අවාසිදායක කොන්දේසි යටතේ ලංකාවේ අපනයන කරුවන්ට තරග කිරිමට ද සිදුවනු අති බවයි.

එම අඩු පිරිවැය රටවල් සමග යුරෝපා වෙළඳ පලේ තරග කිරීම සඳහා ශ්‍රී ලංකාවට  12% ක වට්ටමක් අවශ්‍ය වන බවත්, විශේෂයෙන් 2010 දී  නැතිවීමේ ලත් අත්දැකීම වන්නේ ඉන් ගැනුම්කරුවන් අහිමිවීම නිසා ඇනවුම් අඩුවීමෙන් නැති වූ වට්ටම් ප්‍රමාණයට වඩා සත්‍ය අලාභය බෙහෙවින් වැඩි බව ද ඔවුහු සදහන් කරති.

ජීඑස්පී+ අහිමි වීම යනු හුදෙක් අපනයන ආදායම්වල පහත වැටීමෙන් පමණක් පිළිබිඹු නොවන බවත්, මෙයින් රටේ ඇඟළුම් ඇතුළු වටිනාකම් එකතු කිරීමේ අපනයන නිෂ්පාදන ආර්ථිකයට  විශේෂයෙන් සේවා නියුක්තියේ වැදගත් කොටසක් හිමි ඇඟළුම් අංශයේ රැකියා කෙරෙහි පුළුල් හානිදායක බලපෑමක් ඇති කරනු ඇති බව ද  ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය  පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ප්‍රධාන ලේකම් ටුලි කුරේ ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ ජීඑස්පී+ සහනය ලංකාවට අහිමි වුවහොත් වසරක් ඇතුළත ඇඟලුම් කර්මාන්තයට ඩොලර් මිලියන 500 වටිනාකම ඉක්මවන තරමේ අපනයන අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

 මේ සහනය යටත් භාණ්ඩ අපනයනය කරන්නේ ඒවා ගොඩබෑම දක්වා වන පිරිවැය මත බවත්, බදු සහනය ඉවත් වී එම පිරිවැය සියයට 10 කින් පමණ වැඩි වූ විට ශ්‍රී ලංකාව සෙසු රටවල් සමඟ අසමාන තරගකාරීත්වයකට ලක් වී  ව්‍යාපාරයෙන් මුළුමනින්ම පිටතට වැටීමක් විය හැකි බවත් ඔහු පැහැදිලි කර තිබේ.

 යුරෝපා සංගමයෙන් ලැබෙන ජීඑස්පී+ වෙළෙඳ සහන හේතුවෙන් ඇඟලුම්, මාළු, රබර් සහ පිඟන් භාණ්ඩ යන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධාන අංශ සෘජුවම වාසි ලබයි.

 ජීඑස්පී+ අහිමිවීමේ අවදානම ගැන අදහස් දක්වමින්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් අසිර්වාදම් අනතුරු අඟවා ඇත්තේ  යුරෝපා කලාපයේ ලංකාවේ අපනයන සඳහා අහිතකර වාතාවරණයක් පවතින බවත් ඒ තත්වය යටතේ ජීඑස්පී ප්ලස් පමණක් නොව යුරෝපා කලාපයේ අපනයන වෙළඳපොල ද ලංකාවට අහිමි වනු ඇති බවටයි.

ඇය එසේ අනතුරු අඟවා ඇත්තේ, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ කොළඹ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “GSP+: අතීතය, වර්තමානය, අනාගතය” මැයෙන් මෑතකදී පැවැත්වූ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙමිනි.

එහි දී භාණ්ඩ වර්ග 7,000 ක් සඳහා තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දෙන ජීඑස්පී+ යටතේ, යුරෝපා සංගමය සමඟ සිදුකරනු ලබන අපනයනයන් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු අංශ 6 ක් ද ඇය පෙන්වා දී ඇත. 

 නිෂ්පාදන මූලයන් පිළිබඳ නිර්ණායක, නිෂ්පාදන විවිධාංගීකරණය, වෙළඳපල විවිධාංගීකරණය, නිෂ්පාදන ධාරිතාවය ඉහල දැමීම, අවබෝධය  දියුණු කිරීම සහ අපනයන තොග ප්‍රතික්ෂේප වීම අවම කිරීම යනාදිය ඒ අතර වේ.

 එසේම ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලය පෙන්වන්නේ ජීඑස්පී+ බැඳීම් මානව හිමිකම් පැත්තෙන් පමණක් රඳා නොපවතින බව සැලකිල්ලට ගැනීම වැදගත් බවයි.

 එම නිසා මෙම පහසුකම ඉවත් කිරීම සඳහා වන සමස්ත සාකච්ඡා ක්‍රියාවලියම හුදෙක් මේ ‘ඒකීය මුහුණුවර’ මත පදනම් නොවී අනෙකුත් සියලු බහුකාර්ය කරුණු සලකා බැලීම අවශ්‍ය බව අවධාරණය කළ යුතුයයි මණ්ඩලය කියයි.

කෙසේ වෙතත් අපනයන කරුවන්ගේ මණ්ඩලය තව දුරටත් පෙන්වන්නේ ඉදිරි මාස කිහිපය තුළදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය  පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය කරනු ඇති බවත්, ජීඑස්පී+ ඉවත් කිරීම සමහර විට ඔවුන්ගේ අවසාන විසඳුම විය හැකි යැයි අපේක්ෂා කළ හැකි බවයි.

සම්මුඛ සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පසුගියදා  කියා සිටියේ මානව හිමිකම් ගැටළු හේතුවෙන් යුරෝපා සංගමය විසින් ජීඑස්පී+ අත්හිටුවීමකට තීන්දු ගන්නේ නම් එය තමන් සාදරයෙන් පිළිගන්නා බවයි.

 ඒ අතර එවැනි පියවරක් සම්බන්ධයෙන් තම සංවිධානයේ මුද්‍රාව තබනවාද නැත්ද යන්න ගැන කිසිවිටකත් අනම්‍ය තීරණයක් ගෙන නොමැති බව පවසන ඔහු තව දුරටත් සදහන් කර තිබුනේ ”මොකද එවැනි අත්හිටුවීමක් අපගේ ජනතාවටත් බොහෝ සෙයින් බලපාන නිසයි” යනුවෙනි.

තමන් ජීඑස්පී+ අත්හිටුවීමේ ප්‍රශ්නය ගැන කෙලින්ම යුරෝපා සංගමය සමග කතාකර නොතිබුනත්,  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය  වඩ වඩාත් නරක අතට හැරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම සහ පුළුල් කිරීමේ තතු යටතේ  එවැනි පියවරක් මගින් රටට පීඬනයක් එල්ල කිරීම ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු අවධාරණය කර ඇත.

නිදහස් වෙළද කලාප සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ  යුරෝපීය සංගමය ජීඑස්පී+ සහනයන් ඉවත් කර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් තනිකර වගකීම ආණ්ඩුව මගින් බාර ගත යුතු බවයි.

වෘත්තීය සමිති ලෙස තමන් ගේ කාර්යභාරය වන්නේ සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාවය සහතික කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්වය  උසස් කිරීම සඳහා එක්ව සටන් කිරීම බවද ඔහු සඳහන් කර තිබේ

 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය  ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.

එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක්  මතුව පවතී.

GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන විශ්වාසයෙනි.

උපුටා ගැනීම – www.theleader.lk

Scroll to Top