88/89 සමයේ සිදුවූ ඝාතන, අතුරුදන්වීම් හා නීතියෙන් බාහිර ක්‍රියාවන් නිසා එතෙක් දැනුවත් සුළු පිරිසක් පමණක් භාවිතකල මානව හිමිකම් හා බැඳුණු නීති පිළිබඳව රටේ වැඩි පිරිසකගේ අවධානය යොමු වූ අතර එතුලින් එවකට පැවති විපක්ෂ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් එකී අවිචාරවත් භීෂණකාරී තත්ත්වයට එරෙහිව විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පෙළඹුනි.
මේ අනුව ඊට අදාලව මහජන ක්‍රියාකාරකම් ආරම්භ වූ අතර නොයෙකුත් ආකාරයේ විරෝධතාවන් උද්ඝෝෂණයන් හා ජාත්‍යන්තර දැනුවත් කිරීම් ඒ අතර ප්රමුඛ කාරණාවන් විය. එසේම මානව හිමිකම් නීති පිළිබඳ සාමාන්‍ය ජනයාට දැනුම ලබාදීමේ වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ඒවනවිට මෙරට ක්‍රියාත්මකව පැවති සිවිල් සංවිධානවල අවධානය යොමු විය. එහි ඉදිරි පියවරක් ලෙස ජනතා සහභාගීත්වය සහිතව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සඳහා ප්‍රසිද්ධ සම්මන්ත්රණයන් පැවත්වීමත් වෙනත් ක්‍රියාකාරකම්වල නියැලීමත් සිදු වූ අතර මුලින් කොළඹ නගරයට පමණක් සීමාවූ එම සැමරුම් පසුව, ඉන් බැහැර ප්රදේශවලටද ව්‍යාප්ත විය.
1990 වසරේදී කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් මානව හිමිකම් දින සැමරුමක් මුල්වරට සිදුවූ අතර ඒ සඳහා දේවසරණ සංවර්ධන කේන්ද්‍රය මූලිකත්වය ගත් අතර එහි එවකට මෙහෙයුම් කරු වූ සරත් ප්‍රනාන්දු ඊට අවශ්‍ය පසුබිම සකස්කරන ලදී.
ඒවන විටත් දේවසරණ මධ්‍යස්ථානය තුල මානව හිමිකම් ක්‍රියාකාරී කමිටුවක් ආරම්භව තිබූ අතර එහි ක්‍රියාධරයන් ඒ සඳහා මැදිහත් වූහ. එතැන් සිට අඛණ්ඩව කුරුණෑගලදී මේ දක්වා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරේ. එහෙත් ඒ නොයෙකුත් ආකාරයේ සංදර්භයන් යටතේ බව විශේෂයෙන් සඳහන් කල යුතුව තිබේ.
දේවසරණ විසින් කුරුණෑගල මානව හිමිකම් ක්‍රියාකාරිත්වය ආරම්භ කළ අතර අනතුරුව ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා ව්‍යාපාරය හෙවත් MDDR විසින් සෘජු සහාය ලබා දීම තුළින් එම ක්‍රියාකාරිත්වය වඩාත් පුළුල් විය. ඒ අනුව කුරුණෑගල මානව හිමිකම් සංවිධානය බිහිවූ අතර, ඊටත් පසු කලෙක එම සංවිධානය ස්වාධීනව කටයුතු කීරීම ආරම්භ කරන ලදි. 2009 දක්වා එම සංවිධානය විසින් කුරුණෑගලදී මානව හිමිකම් දිනය සැමරීම සංවිධානය කරනු ලැබුණි.
එම සංවිධානයේ ලේකම් වරුන් ලෙස ඒ ඒ කාලවලදී කටයුතු කල ජී.කුලරත්න හා ආර්.එම්.බී.හේරත් යන අයගේ කැපවීම මෙහිදී සිහිපත් කල යුතුවේ.
2010 වසරේ සිට එම දිනය සමරනු ලැබුවේ කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකතුව ලෙසින් වූ අතර දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, රිදීගම මානව හිමිකම් සංවිධානය, කාන්තා සංවර්ධන පදනම, ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය, ඇතුගල්පුර මානව හිමිකම් සංවිධානය, MONLAR, හා නිදහසේ වේදිකාව යන සංවිධාන හා කුරුණෑගල නිදහස් මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් ඒ සඳහා සංවිධාන ශක්තිය ලබාදෙන ලදී.
මෙහිදී Rights Now හා Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානය යන සංවිධාන වරින් එහි සංවිධාන කටයුතු සඳහා දායකත්වය ලබා දුන් බවද සඳහන් කල යුතුව තිබේ.
1990 දී ඇරඹී 2019 දක්වා පුරා අවරුදු 30 ක් අඛණ්ඩව කුරුණෑගලදී මානව හිමිකම් දින සැමරුම සිදුවූ අතර එය 2020 දීද පැවත්වීමට දැනට කටයුතු සූදානම් කෙරෙමින් පවතී ඒ 31වැනි වරටය.
මේ සියලු සැමරුම් සඳහා මෙම ලියුම්කරු සක්‍රීයව සහභාගීවී ඇති අතර 2007 සිට පැවති සියළු සැමරුම්වලදී එහි සම්බන්ධීකාරක ලෙසද ක්‍රියා කරන ලදි.
ඥානවීර දිසානායක.