තාරික් අහමඩ් අඩු මානසික වර්ධනයක් සහිත දරුවෙක්, ඔහුට නිවැරදිව වචන උච්චාරණය කරන්න බැහැ. කතා කරන්නේ සීමිත වචන ප්‍රමාණයක්. ඒ වචනත් ඔහු උච්චාරණය කරන්නේ ගොත ගසමින්. ඔහු නිරතව ඉන්න වැඩකට යම් කෙනෙක් බාදා කරයි නම් ඔහුට කේන්ති යනවා. එවැනි අවස්ථාවන් වලදී ඔහු කලබලකාරී හැසිරීමක් තමයි පෙන්නන්නේ. පසුගිය කොවිඩ් වසංගත ඇඳිරි නීතිය අවධියේ ඔහු බරපතළ හිංසනයකට ලක් වෙනවා. ඒ අලුත්ගම පොලීසියට අනුයුක්තව දර්ගා නගරයේ මුරපොළක රාජකාරී කළ පොලිස් නිළධාරීන් පිරිසක් අතින්. මෙය ලංකාවේ පොලීසිය තවමත් ජනතාවට සමීප නැහැ කියන්න එක් නිදර්ශනයක්.
අබ්දුල් හමීඩ් මොහොමඩ් වසීඩ්, තාරික් අහමඩ්ගේ පියා. තාරික් අහමඩ් මුහුන දුන් ඛේදය අබ්දුල් හමීඩ් මොහොමඩ් වසීඩ් විස්තර කළේ මෙහෙම..
“මම ඉන්නේ අලුත්ගම දර්ගා නගරයේ නොම්බර 2/36, සෙන්ට්‍රල් පාර කියන ලිපිනයේ. මේ සිද්ධිය වුණේ මැයි මාසේ 25 හවස 4.30 විතර. මම බාත්රූම් එකට ගිහිං නාලා එනකොට තාරික් ගෙදර පේන්න හිටියේ නෑ. මම ගෙදරින් එළියට බැහැලා බැලුවා, පේන්න හිටියේ නෑ. ඒ පාර මම මහා පාරට ආවා බයික් එක අරගෙන. පාරට එනකොට මෝටර් බයික් එකකින් ආපු කෙනෙක් කීවා, පුතාව ගැටගහලා පොලිස් චෙක් පොයින්ට් එකේ තියාගෙන ඉන්නවා කියලා. ඒ බයික් එකේම මම චෙක් පොයින්ට් එක ළඟට ගියා. යනකොට මෙයාව චෙක් පොයින්ට් එක පිටිපස්සේ තාප්පෙ අයිනෙන් තියාගෙන ඉන්නවා. ගැටගහලා තමයි තියාගෙන හිටියේ. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි මේ කියලා. පොලීසියේ මහත්තයෙක් කිව්වා මෙයා හොඳටම බීලා කියලා. මම ළමයාව ලෙහෙලා ගත්තා. කෙළින්ම අලුත්ගම පොලීසියට ගියා. ගිහිං ඇතුළට යනකොටම ඇතුලේ කෙනෙක් කිව්වා මෙයා නේද බීලා චෙක් පොයින්ට් එක ළඟ හිටියේ, මෙයාව දාන්න කූඩුවට කියලා. මම කිව්වා මෙයා කූඩුවට දාන්න එපා, මෙයා අසනීප තත්ත්වයක ඉන්න දරුවෙක් කියලා. ඊට පස්සේ කට උත්තරයක් අරං ගෙදර යන්න කියලා දරුවාව භාර දුන්නා.
ගෙදරට ඇවිත් ඉන්නකොට රෑ 10ට විතර මගේ බොසාගේ පුතා කතා කරලා කිව්වා, පොඩි එක්කෙනා අරං OIC මහත්තයා එන්න කිව්වා කියලා. හරියට රෑ 10ට මම ආයි ගියා. OIC මහත්තයා දරුවා දිහා බලාගෙන ඉදලා කිව්වා, ඩියුටි ඉන්න අය රෑ 10.30ට එනවා, ආවාම මම අහන්නම් කියලා, මට යන්න කිව්වා. මම ආයි ගෙදර ආවා.
ඊට පස්සේ මැයි මාසේ 26 දහවල් මම ගෙදර ඉන්නකොට පොලිස් නිළධාරියෙක් ගෙදරට ආවා. ඇවිත් කිව්වා කළුතර පොලිසියේ ලොකු මහත්තයා එන්න කිව්වා කියලා. ඊට පස්සේ මම බයික් එකක නැඟලා ලොකු මහත්තයා ළඟට ගියා. ගියාම මේ ළමයාගේ පොටෝස් ලොකු මහත්තයා මට පෙන්නුවා. පෙන්නලා ඇහුවා මේ ළමයාද කියලා. මම ඔව් කිව්වා. සර් ඇහුවා මොනාද කෙරෙන්න ඕනෑ කියලා. මම කිව්වා එතන හිටපු නිළධාරීන්ට හොඳ දඩුවමක් දෙන්න කියලා. හරි කියලා තවත් නිළධාරියෙක්ට කතාකරලා කිව්වා, මෙයාගෙන් කටඋත්තරයක් අරගෙන ගෙදර යවන්න කියලා. මම පොඩි කටඋත්තරයක් දීලා ගෙදර ආවා. එදා රෑ තමයි මම මේ ළමයාට ගහනවා වීඩියෝ එක බැලුවේ. ඒක බලාගෙන ඉන්නකොට පේනවා ත්‍රීවීලර්කාරයෙකුත් ඇවිත් මගේ දරුවට ගහනවා. ඊට පස්සේ තවත් ත්‍රීවීලර්කාරයෙක් එතනට එනවා. ඊට පස්සේ ඒ දෙන්නා තමයි මේ ළමයා ගැටගහන්නේ. එතකොට මගේ ළමයා විතරක් නෙවෙයි මේ ත්‍රීවිලර් කාරයෝ දෙන්නත් ඇඳිරි නීතිය කඩකරපු දෙන්නෙක්. මේ විදිහට මම මේ ළමයාට වුණ අසාධාරණය වෙනුවෙන් යන්න පුලුවන් හැමතැනටම ගියා, පැමිණිලි දැම්මා. අපිට නීති මාර්ගයෙන් සාධාරණය ක් වෙන්න තමයි ඕනෑ.
මෙහෙම ඉන්නකොට මැයි මාසේ 30, ඒ එස් පී මහත්තයාගේ ඔෆිස් එකේ ඉදලා පොලිස් නිළධාරියෙක් ආවා. එයා එක්ක මම නාගොඩ ඩී.එම්.ඕ මහත්තයාගේ ඔෆිස් එකට ගියා. දරුවා පෙන්නන්න. එයා කතා කරපු දේවල් කතා කරන්නත් මම කැමති නෑ. හරක් මස් කන මිනිස්සු කියලා තමයි අපිට කිව්වේ. මේ දරුවා ගිහිං අංගොඩ දාන්න කියලත් කිව්වා. මේ ජාතියේ අය ගේන්න එපා, මොකටද ගෙනාවේ කියලා පොලිස් නිළධාරීන්ගෙන් අහනවා. මම සද්ද නොකර හිටියා. දරුවා හරියට බැලුවෙත් නෑ. ඇයි අපිට මෙහෙම සළකන්නේ මට හිතාගන්න බැහැ.
මේ දවරුවට අවුරුදු 5ක් වෙනකොට තමයි අපි දන්නේ මේ දරුවට අසනීපයක් තියෙනවා කියලා. ඉස්කෝලෙට දාලා මාස පහක් යනකොට ටීචර් කිව්වා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න කියලා. මම පෙන්නුවා. තනියෙම දොඩවනවා. කතාව එන්නේ නෑ ගොතගැහෙනවා. කෑම ඉල්ලනවා. වාංගෝ පෝංගෝ කියනවා, එච්චරයි”
මෙවැනි දරුවෙක්ගේ හැසිරීම පොලිස් නිළධාරියෙකුට තේරුම් ගැනීමට අපහසුවීම සිතාගන්නට අපහසු ය. මෙවැනි දරුවෙක් පාපැදියක් පැදගෙන පොලිස් ආරක්ෂක මුර කපොල්ලක් තුළින් ගමන් කිරීමේදී ඔහු නැවතා ගැනීම ඇඳිරිනීතිය බලපැවැත්වෙන අවස්ථාවක, අපට තේරුන් ගැනීමට අපහසු නැත. එහෙත් ඉන්පසුව මානුෂිකව කටයුතු කරමින් දරුවා හිංසනයෙන් තොරව දෙමාපියන් වෙත භාරදීම පොලීසියේ රාජකාරිය විය යුතුව තිබුණි. නමුත් කුමක් හෝ හේතුවකට එය එසේ නොවිණි. දරුවා මුස්ලිම් වීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ දරුවා හිංසනයට ගොදුරු විය. දරුවාගේ අසනීප හැසිරීම මෙම මුරපොළේ සේවය කළ පොලිස් නිළධාරීන් තේරුන් ගෙන තිබුණේ බීමත් කම ලෙසය. මෙම ක්‍රියාව සමස්ථ පොලිස් සේවයම අපක්‍රීර්තියට පත් කරයි. එනිසා දැන් පොලිස් ප්‍රධානීන් කළ යුතු වන්නේ මෙලෙස හිංසනයට ලක්වූ දරුවාට සාධාරණය හිමිකර දීමයි.