Right To Life Human Rights Center

Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක

කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ නම් නැත. මට මෙන්ම, බොහෝ දෙනෙකුට මංගල හොඳ මිතුරෙකු විය. ඔහුගේ නිහතමානීකමට, විවෘත හා කෙලින් කතාවටත්,  නිර්භීත භාවයට බොහෝ දෙනෙක් ඔහුට ඇලුම් කළාය.

එමෙන්ම, ඔහු අතින් විවිධ අවස්ථාවලදී සිදු වූ දේශපාලන වැරදි හා අඩුපාඩුකම් සම්බන්ධව පසුව හෝ තේරුම් ගැනීමත්, ඒය පිළිගෙන ප්‍රමාද වී හෝ එය නිවැරදි කිරීමට උත්සාහ කිරීමත් ඔහුගේ තිබූ තවත් සුවිශේෂත්වයක් විය. වර්තමාන දේශපාලනඥයින් අතර මා නොදකින ඒම ගුණය නිසාම මංගල වටා සැලකිය යුතු පිරිසක් එකවී සිටියේය.

මංගලගේ හදිසි සමුගැනීමෙන් කම්පනයට හා වේදනාවට පත් වූ බොහෝ අය විසින් ඔහු සම්බන්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශයන්ගෙන් ඔහු කොපමණ බලපෑමක් මේ අය වෙත සිදු කර තිබේ ද යන්න ඉන් පැහැදිලි වේ. ම‌ගේ ජීවිත කාලය තුළ දේශපාලඥයෙකුගේ වියෝවකින් පසුව සැබැවින්ම කම්පාවට පත්ව මෙතරම් කතාබහට ලක් වූ දේශපාලන චරිතයක් පිළිබදව මතකයක් මට නැති තරම්ය.

නමුත්, මංගලගේ සමහර මාතර මිත්‍රයන්, අතීතයේ මංගල වාදියෝ යැයි කියාගත් සමහර පිරිස් අතර, මංගලගේ වියෝව සම්බන්ධව එවැනි කම්පනයක් තිබෙන බවක් නම් මට නොපෙනුනි. මංගල ආමාත්‍ය ධුරයන් දැරූ මුල් අවධියේ මාතර දිස්ත්‍රික්කයේ පවුල් තුන්දහසකට වැඩි පිරිසකට ඔහු රජයේ රැකියා ලබා දුන් බැව පැවසේ. රොනී ද මෙල් මහතාගෙන් පසුව මාතරට දැනෙන්න වැඩක් කර ඇත්තේ ද මංගල පමණි.  මාතර ප්‍රධාන බස් නැවතුම, තැපැල් සංකීරණය, සංස්කෘතික මධ්‍යස්ථානය, නව රෝහල, මාතර වෙරළ තීරය ප්‍රතිසංස්කරණය, නිල්වලා පාලම හා ගං ඉවුරු සැලසුම, ඇතුළු මාතර නගර අලංකාරය හා සංවර්ධනය වෙනුවෙන් මංගල සැලකිය යුතු වැඩ කොටසක් මාතරට සිදු කළාය.

එසේ, කොපමණ වැඩ කලත්, මාතර මිනිසුන්ගෙන් කී දෙනෙක් මංගලගේ දේශපාලනයත් එක්ක හිටියා ද යන්න  ගැටලුවකි. පසුගිය මැතිවරණයන් තුළ දී ඔහුට ලැබුණ ඡන්ද ප්‍රතිශතයෙන් එය මනාව පැහැදිලි වේ. ඔහු දැරු අමාත්‍ය ධුරයන් හරහා රටට කොපමණ වැඩ කොටසක් සිදු කළත්, මාතරට කොපමණ සංවර්ධයක් සිදු කලත්, කොපමණ පිරිසකට රැකී රක්ෂා ලබා දුන්නත්, මංගලගේ දේශපාලන ප්‍රතිපත්ති සමග කටයුතු කරනු ලැබුවේ ඉන් ඉතා සුළු පිරිසක් පමණි.

එපමනක් නොව, මංගලගේ සමහර ප්‍රකාශයන් විශේෂයෙන් සමහර සංඝයාවහන්සේලා ඇතුළු පූජකයින් සම්බන්ධව ඔහු ඉදිරිපත් කළ තියුණු විවේචන, මේ රට සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රාජ්‍යයක් නොවේ යැයි ප්‍රකාශ කිරීම, සුළු ජන අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් සම්බන්ධවත්, LGBT ප්‍රජාවගේ අයිතීන් වැනි සාමාන්‍ය දේශපාලඥයින් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට බියවන ක්ෂේත්‍ර සම්බන්ධව ඔහු සිදු කළ නිර්භීත ප්‍රකාශයන් ඔහු නියෝජනය කළ මාතර සමහර ඡන්ද දායකයින්ට නම් එතරම් ගෝචර නොවූවාය.

එමෙන්ම, ලිංගිකත්වය සම්බන්ධව ඉතා විවෘතව කතා කිරීමත්, සමහර අවස්ථාවලදී ගෝත්‍රික දේශපාලඥයින් මංගලගේ ලිංගික චර්යාවන් සම්බන්ධව හාස්‍යයට ලක්කිරීමට උත්සාහ කළ අවස්ථාවලදී  පවා ඒ සම්බන්ධව තම මතයන් නොබියව ඉදිරිපත් කරමින්, තමුන්ගේ ලිංගික චර්යාවන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යයන් තුළ පවා ඔහු විසින් සිදු කළ විවෘත ප්‍රකාශ සම්බන්ධව මංගලගේ මාතර ප්‍රදේශීය දේශපාලඥයින්ට එතරම් අවබෝධයක් තිබුනාද යන්න ගැටළුවකි.

මංගලගේ මෙන්ම මගේ ද මිත්‍රයින් වන සමහර මාතරවාසීන් කිව්වේ මේව කියල මාතර ඡන්ද නම් ගන්න බැරි වෙන බවයි. මේ කතා කොළඹට හරි ගියාට මෙහෙට හරියන්නේ නැති බව ඔවුන් ප්‍රකාශ කළාය. ඔහුගේ ප්‍රාදේශීය දේශපාලන හිතවතුන් පවා මංගලට කීවේ මෙවැනි ප්‍රකාශ සිදු කරන විට ඒවා ඉතා පරිස්සමින් සිදු කරන ලෙසය. විශේෂයෙන් මැතිවරණ සමයන් හිදී ඒ ගැන සැලකිලිමත් වන ලෙසය.

නමුත්, මංගල ඒ කිසිවක් ඒතරම් මායිම් නොකලේය. කොළඹ කරන කතාවම ඔහු මාතරට ද කලේය. ඡන්ද ගැන නොසිතා ඔහු ඔහුගේ ප්‍රතිපත්ති වෙනුවෙන් දිගටම කටයුතු  කලේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේය. මේ හේතුව නිසා මාතර දිස්ත්‍රික් ලයිස්තුවේ අංක එකේ සිටි මංගලට ක්‍රමයෙන් පසු බසින්නට සිදු විය.

මේ අතර, මංගලගේ මෙම දේශපාලණ ප්‍රවේශය තේරුම් නොගත් ඔහුගේ සමහර මාතර ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් ක්‍රමයෙන් ඔහුගෙන් ඈත් වූවාය. නමුත් මංගලගේ මෙම නවීන දේශපාලන ප්‍රවේශය අවබෝධකරගත් ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන සැලකිය යුතු පිරිසක් මංගල වටේ එක් වූවාය. එතන අලුත් සාකච්ඡාවක් හා අලුත් සංස්කෘතියක් නිර්මාණය වීම නිසා මාතර පැවති සම්ප්‍රදායික දේශපාලන කටයුතු වලින් මංගල ටිකෙන් ටික ඈත් වූයේය.

රස්සාවල්, මාරුවීම් හා උසස්වීම්, සහනාධාර, කොන්ත්‍රාත්, අනෙකුත් පරිපාලන ප්‍රශ්ණ වැනි ඒකාකාරී හා සම්ප්‍රදායික මාතර දේශපාලණ වැඩ කටයුතු වලින් මංගල ටිකෙන් ටික ඈත් වූවේය. ඉහත ප්‍රශ්ණ ඉදිරිපත් වෙන මහජන දින පැවැත්වීමට ද ඔහු එතරම් කැමැත්තක් නොදැක් වීය. මේ තත්ත්වය යටතේ මාතර වැනි ප්‍රදේශයකින් ඡන්ද ඉල්ලා ජයග්‍රහණය කිරීමත්, ඔහුගේ දේශපාලණ ප්‍රතිපත්ති මත කටයුතු කිරීමත් ඒක විට කළ නොහැකි බව තේරුම්ගත් මංගල ඒම ක්‍රියාවලියෙන් ද සමුගත්තාය. ඒය ඔහු දේශපාලනිකව ගනු ලැබූ විශාල වැදගත් කමකින් යුතුව වූ තීරණයකි.

මෙතරම්, දක්ෂ, නිර්භීත, පරිනත දේශපාලඥයෙක් වූ මංගල සම්බන්ධව දුර්වලතාවයන් කිහිපයක් ද මා ඔහු තුළින් දුටුවෙමි. ඒහි පළමු වැන්න වන්නේ ඔහු ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන දැක් වූ ඉතා අඩු සැලකිල්ලයි. ඒම ප්‍රතිපත්තිය මෙවැනි මාරාන්තික වසංගත තත්ත්වයක දී පවා ඔහු වෙනස් නොකළාය.

අනෙක් බරපතල දුර්වලතාවය ලෙස මා දකින්නේ ඔහු දුරදිග නොබලා සමහර දේශපාලන අත්හදා බැලීම් සිදු කිරීමට යාම නිසා පෞද්ගලිකව ඔහුටත් පොදුවේ රටටත් සිදු වූ විනාශයයි. ඉන් බොහොමයක් තවමත් නැවත යථාතත්වයට පත් කිරීමට නොහැකි වී තිබේ.

මා දන්නා දේශපාලන ඉතිහාසය තුළ රජුන් තනන්නා ලෙස හදුන්වනු ලැබුවේ CWC යේ ‌ෙසෟම්‍යමුර්ති තොන්ඩමන් මහතාය. අතීතියේ දී ඔහුගේ සහායක් ලබා නොගෙන කිසිවෙකුට රජයක් පිහිටු වීමට නොහැකි වූවාය. නමුත් පසු කාලෙක රජුන් තනන්නා යන නාමය මංගල ඉදිරියේ තබා ගත්තේය. 1994, 2005, 2015 පිහිට වූ නව රජයන් ගොඩනැගීමට මංගලගේ දායකත්වය විශේෂයෙන් කැපී පෙනුනාය. ඔහුගේ එම දායකත්වය නොලැබෙන්නට ඒම රජයන් ගොඩනැගීම ඉතා අසීරු වීමට ද බොහෝ ඉඩ තිබුනි.

මංගලගේ මෙම රජුන් තැනීමේ රාජකාරියේ දී 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා ඔහු විසින් ලබා දුන්  දායකත්වයත්, රජෙක් ගොඩනැගීමට නොහැකි වුවත්, 2019 වසරේ දී සජිත් ප්‍රේමදාස විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෙන ඒම සදහා මංගල විසින් ලබා දුන් දායකත්වය සම්බන්ධව මංගලගේ දේශපාලණය පිළිබදව අවබෝධයෙන් සිටි බොහෝ දෙනෙකුට විශාල ප්‍රෙහෙලිකාවක් වූවාය.  නමුත් ඉතා කෙටි කාලයකින් තමුන් අතින් සිදු වූයේ වැරැද්දක් බව පිළිගත් මංගල එය නිවැරදි කිරීම සදහා අවංකවම කැප වූවාය. ඒ සදහා සමහර අවස්ථාවල දී ඔහු ජීවිත අවධානමද නොතකා විශාල අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කළේය. තමන් අතින් සිදු වූයේ විශාල දේශපාලණ වැරුද්දක් බව තම දේශපාලණ හිතවතුන් ඉදිරියේ සාකච්ඡා කළේය. එය මංගලගේ තිබූ සුවීශේෂ ලක්ෂණයක් ලෙස පිළිගත යුතුය.

අවසානයේ සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලණ ක්‍රියාවලියෙන් ඉවත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව වැටී ඇති  ප්‍රපාතයෙන් ගොඩඒම සදහා අලුත් වැඩ පිළිවෙලක් මංගල විසින් රටට ඉදිරිපත් කළාය. ඒය මෙතෙක් පැවති පක්ෂ දේශපාලන ක්‍රියාවලියෙන් හා හුදු විරුද්දවාදී දේශපාලන ක්‍රියාකාරීත්වය ඔබ්බට යන අලුත් වැඩ පිළිවෙලක් ලෙස හැදින්විය හැක. මංගල අපට අද නැති වුවත්, ඔහු විසින් ඉදිරිපත් කළ ආකාරයේ දීර්ඝ කාලීන සැලැස්මක් තුළ සිදු කෙරෙන ක්‍රියාකාරීත්වයකින් හැරෙන්නට මේ රට වෙනත් කිසිදු අයුරකින් ගොඩනැගීමට නොහැකි බව නම් සැබෑය.

උපුටා ගැනීම – අයිතිය

Scroll to Top